Wednesday, January 23, 2019

අබුද්දස්ස යුගයක කරලියට ආ ප්‍රබුද්ධ මිනිසා.



අබුද්දස්ස කාලය ලෙස අප හඳුන්වන්නේ ඉතා අයහපත් ලෝක ධර්මයට අනුකූල නොවූ සිදුවීම් සිදුවන කාලයකි. එවැනි ඉතා නිර්ලජ්ජිත දේශපාලනික ක්‍රියාකාරකම් සිදුවූ කාලයක් අප රටද ගිය වසරේ අගභාගයේදී පසුකල බව කිසිවකුට අමතක නැත. ජනාධිපතිවරයා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් අගමැති කෙනෙකු පත් කිරීමේ සිට ජනවරමට පිටුපා සිදුවූ පක්ෂ මාරු කිරීම් සහ මාධ්‍ය මගින් අසත්‍ය ප්‍රචාර පතුරවමින් ජනතාගේ සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතිය අහිමි කිරීම සහ විරුද්ධ පාක්ෂිකයන්ට සහ ඔවුන්ගේ දේපල වලට ප්‍රහාර එල්ල කිරීම දක්වා ඉතා මජර දේශපාලන තත්වයකට රට ඇද දැමීමට එම දේශපාලන කුමන්ත්‍රණයට හැකි විය.  ඉන් රටේ සමස්ථ ආර්ථිකයට වූ හානි පිලිබඳ කතා කිරීම පසුවට කල් තබන්නේ එය ඉතා දීර්ඝ කතාබහකින් කෙලවර වන නිසාවෙනි.

මෙම දේශපාලන සුනාමියෙන් මෛත්‍රීපාල සිරිසේන ගුණමකුවෙකු බවත්, මහින්ද රාජපක්ෂ බල ලෝභයෙන් මත්වූ මෝඩයෙකු බවත්, රනිල් වික්‍රමසිංහ නිහඬ දේශපාලන ගේම් කාරයෙකු බවත්, කරු ජයසූරිය ව්‍යවස්ථාවේ සහ ජනතා පරමාධිපත්‍යයේ ආරක්ෂකයා වූ බවත්, වසන්ත සේනානායකලා වැනි දේශපාලනයේ නොමේරූ ළදරුවන් පාර්ලිමේන්තුවේ සිටින බවත් සහ එජාප පාක්ෂිකයාගේ තම පක්ෂය වෙනුවෙන් දිවිහිමියෙන් කැපවන්නෙකු බවත් මනාව පිලිබිඹු කලේය.

අද අපගේ මේ සටහන වෙන්වන්නේ ව්‍යවස්ථාවේ සහ ජනතා පරමාධිපත්‍යයේ ආරක්ෂකයා වූ වත්මන් කතානායක කරු ජයසූරිය මහතා වෙනුවෙනි. දේශබන්දු කරු ජයසූරිය මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කීර්තිමත් වෘතීය වේදියෙකු සහ ව්‍යාපාරිකයෙක් වෙයි. ඊට අමතරව එතුමා ශ්‍රී ලංකා යුධ හමුදාවේ ස්වේච්ඡා බලකායේ ලුතිනන්වරයකු ලෙසද කලක් සේවය කර ඇත. එතුමා යුද හමුදාව ඇසුරින් ලද විනය, හික්මීම සහ දරාගැනීමේ හැකියාව එතුමා පසුගිය කාලය තුල පාර්ලිමේන්තුව තුල මැනවින් පිලිබිඹු කලේය.

කොළඹ නගරසභාවේ නගරාධිපතිවරයා ලෙස ඔහු අරඹන දේශපාලන ගමන මන්ත්‍රීධූර, අමාත්‍යධූර පසුකර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකධූරය දක්වා වැටී ඇත්තේ නොකිලිටි මාවතක් තරණය කිරීම තුලින් බව සියළුම දෙනාගේ පොදු මතයයි.

කතානායක කරු ජයසූරිය මහතා ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ තම නාමය රනින් සටහන් කරගැනීමට එතුමා පසුගිය ව්‍යවස්ථා කුමන්ත්‍රණයට මුහුණදුන් ආකාරය ඉවහල් විය. ලෝකයේ මෙවැනි කුමන්ත්‍රණ ජනාතාවගේ රුහිරු සහ මලකඳන් මතින් අවසන් වෙද්දී මෙරටේ එම කුමන්ත්‍රණය නීත්‍යානුකූලව   ඉතා සාමකාමීව විසඳාගැන්මට එතුමා ගත් පරිණත තීරණ ඉවහල්වූ බව නොරහසකි. මහින්ද රාජපක්ෂගේ සහ ඔහුගේ මෝඩ පුත්‍රයා වන නාමල්ගේ මෙහෙයවීම මත කතානායකවරයා ඉලක්ක කොට සංවිධානාතමක ප්‍රහාර කිහිපයක් පාර්ලිමේන්තුව තුලදීම එල්ලවිය. කසල බඳුන් වලින්, පොත්පත්වලින් සහ ජල බෝතල් ප්‍රහාරවලද කතානායකවරයා ඉලක්කයක් විය. ඉන් නොනැවතුන විපක්ෂයේ කුප්‍රකට මන්ත්‍රීවරුන් තවත් දිනකදී එතුමාට මිරිස් කුඩු වලින් සහ පුටු වලින්ද දමාගැසීමට තරම් අශීලාචාර විය. නමුත් ඒ සියල්ල උපේක්ෂාවෙන් දරාගත් එතුමා මෙම කුමන්ත්‍රණය ඉතා නීත්‍යානුකූලව රටට වන හානිය අවම කරමින් පරාජය කිරීමට තමන්ට හැකි සියළුදේ කල බව රටටම පසක් විය. මෙම අවස්ථාවේ කතානායකවරයාගේ ක්‍රියාකලාපය මීට වෙනස් වූයේ නම් මේ රට ලේ විලක් වනබව නොඅනුමානය. ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කිරීමට හේතුවූ මූලික කරුණු කිහිපයකි. අධිකරණයේ ස්වාධීනත්වය , එජාප පාක්ෂිකයාගේ අසීමිත කැපවීම, සුළු පක්ෂ සියල්ල ප්‍රරගතිශීලී පියවරක් අනුගමනය කිරීම, ජාත්‍යන්තර ප්‍රජාවේ බලපෑම සහ කතානායකවරයාගේ පැහැදිලි ස්ථාවරයයි.

කරු ජයසූරිය යනු ශ්‍රී ලාංකික මහත්මා දේශපාලනයේ වර්තමාන ප්‍රතිමූර්තිය ලෙස නම් කිරීමේ කිසිඳු වරදක් නැතැයි යන මාගේ අදහසට  ඔබ සියළුදෙනා ඒකමතිකව එකඟවනබව මම දනිමි. වත්මන් පාර්ලිමේන්තුවේ සිටින ජේෂ්ඨම මන්ත්‍රීවරුන් කිහිපදෙනා අතරින් කෙනෙකු වන කරු ජයසූරිය මහතා ඉතා පරිණත විශිෂ්ඨයෙකු බව පසුගිය පෙල සිදුවීම් සාක්ෂි දරයි. බොහෝ අවස්ථාවලදී ජාතික ඇඳුමෙන් සැරසී, කමිසයේ ජාතික කොඩියේ ලාංඡනයක් පළඳින මේ මිනිසා ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත්, පාර්ලිමේන්තුවේ ගෞරවයත් මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ගෞරවයත් සුරැකි මිනිසා ලෙස ඉතිහාසගතවනු ඇත. එසේම ජනතාව ඔහු යුක්තියේ මිනිසා ලෙස හැඳින්වීම ඉතා සාධාරණ බව මාගේ හැඟීමයි. 


No comments:

Post a Comment