Saturday, February 9, 2019

මොකක්ද මේ නවීන් දිසානායකගේ ගේම් එක.


විශේෂ ලියුම්කරුවෙකු විසින් අපවෙත ලබාදුන් ලිපියක් ඇසුරින් උපුටා ගන්නා ලදී.


ශ්‍රී ලංකාවේ දේශපාලන පොරපිටිය ගේම් කාරයන්ගෙන් කිසිඳු අඩුවක් නොමැති භූමියක් බව පසුගිය මහින්ද සහ සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය තුලින්  සහ එය දියකර හැරීමට රනිල් ප්‍රමුඛ එජාපය ගත් විප්ලවීය ක්‍රියාමාර්ගය තුලින් මනාව පැහැදිලි වන කරුණකි. නමුත් දේශපාලන ගේම් අප රටට ආගන්තුක ඒවා නොවන බව සිහියේ තබාගත යුතුය.   අප රටේ දේශපාලන ගේම් ඉතිහාසය විජය, කුවේණියගේ යුගය පමණක් නොව රාවණාගේ යුගයද සිහිපත කරන්නේ නිරායාසයෙනි. 

රටේ වර්තමාන දේශපාලන සමාජ තත්වයන්ගේ සංකීර්ණ තාවය සැලකීමේදී සාම්ප්‍රදායික දේශපාලනය වෙනුවට මේ දේශපාලන ගේම් වල සාර්ථකත්වය දේශපාලන පොරපිටියේ යම් පුද්ගලයෙකුගේ හෝ කිසියම් කණ්ඩායමක පැවත්ම තහවුරු කරයි. පසුගිය දේශපාලන ගේම් එක නොහොත් ව්‍යවස්ථා කුමණ්ත්‍රණය ජයගත් අගමැති රනිල් වික්‍රමසිංහ සමග එම ජයග්‍රහණය උදෙසා කැපවූ නායකත්වයන් අතර නවීන් දිසානායක යන චරිතය පුමුඛ ස්ථනක් ගනී. එසේම නවීන් දිසානායක නැවතත් ගේම් එකක් ගැන කතිකාවතක් මේ ගිණියම් දේශපාලන පොරපිටිය තුල මතුකිරීමම එජාපය ප්‍රමුඛ කණ්ඩායමේ යම් නව දේශපාලන පෙරලියකට සූදානම් වීමක් බවට කතාබහක් ඇතිවෙමින් පැවතීම සාධාරණ බව මාගේ හැඟීමයි. දැනට එජාපයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මීට දින කිහිපයකට පෙර පුවත්පතකට ලබාදී තිබූ සාකච්ඡාවකින් පවසා තිබුනේ දේශපාලන ගේම් එකකට තමා සූදානම් බවත් පක්ෂය හැරගිය පිරිස් සහ වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහයෝගයත් රජයට ලබාගෙන නව ක්‍රියාවලියකට අවතීර්ණ වන බවය. ජනපති සිරිසේන රනිල් ප්‍රමුඛ එජාපය පෙරලීමට  දේශපාලන පෙරලියක් කිරීමට ගොස් ඒ.එච්.එම්. ෆවුසි වැනි ජේෂ්ඨයන්ගේ සහයෝගය නොමිලේම එජාපයට ලබා දුන් ආකාරය ඔබ සැමට අමතක නැතැයි මම සිතමි. මේ දේශපාලන පොරපිටියේ නවීන් දිසානායක වැනි චරිතයකට  ඉහල දේශපාලන පිලිගැනීමක් හිමිවීම නොවැලැක්විය හැක. එජාපයේ ප්‍රභල නායකයෙක් වූ කඩිනම් මහවැලියේ නිර්මාතෘ ගාමිණී දිසානායක මහතාගේ පුත්‍රයා වීමත් වත්මන් කතානායක කරු ජයසූරිය මහතාගේ බෑනනුවන් වීම සේම ඔහු ලබා ඇති ඉහල අධ්‍යාපනයද ඔහුට මේ දේශපාලනයේ වැදගත් ස්ථානයක් නිතතින්ම හිමිකර ඇත. 

ඉදිරි කාලය මේ දේශපාලන පොරපිටියේ කෙලි සෙල්ලම්   එලිපිට ප්‍රදර්ශනය වන කාලයක් බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. එම දේශපාලන කෙලි සෙල්ලම් කෙසේ වේදැයි ඉදිරි ලිපියකින් සාකච්ඡාකිරීමේ බලාපොරොත්තුවෙන් මෙම සටහන මෙසේ නිමා කරමි.