Friday, July 26, 2019

තේ අපනයනය ඉහල නංවන නවීන්ගේ Smart සැලසුම .




ඉරානයට ඇමෙරිකාව පනවා ඇති සම්බාධක හේතුවෙන් සීමා වී තිබූ ඉරානයට තේ අපනයනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම පිළිබද සාකච්ඡාවක් සිදු විය.

එම අවස්ථාවට මහා මාර්ග හා ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ ලේකම්තුමා, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, තේ අපනයනකරුවන් ,ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිළධාරීන් සහභාගී විය. 

මෙහිදී ඉරානයෙන් ලබා ගත් ඉන්ධන වෙනුවෙන් ඉරානයට ගෙවීමට ඇති මුදල් තේ අපනයනය හරහා පියවීමට සියලු පාර්ශවයන් එකඟ වූ අතර ලබන අගෝස්තු මස අවසන් වීමට පෙර මෙම නව ක්‍රමය යටතේ ඉරානයට සිලෝන් ටී අපනයනය කිරීම ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා පවසා සිටියේය.

Tuesday, July 23, 2019

තේ දල්ලට ජීවය දෙන මිනිසුන් උදෙසා මෙසේ උපහාර පිදෙන වගයි.




" ගරු වැවිලි කර්මාන්ත අමාත්‍ය අධිනීතිඥ නවීන් දිසානායක මහතාගේ ඉදිරි දැක්ම අනුව යමින් සිදුවන මේ ක්‍රියාදාමයේ අපේක්ෂාව කුඩා තේ වතු ආශ්‍රිතව යැපෙන ජනතාව නගාසිටුවීම පමණක්ම නොවේ. කුඩා තේ වතු කර්මාන්තය මගින් රටේ ආර්ථිකයට සැපයෙන විදේශ විනිමය පුළුල් කිරීමද මෙහි ප්‍රධාන අරමුණ වී ඇත. " 

ශ්‍රී ලංකාවේ නාමය ලෝකය තුල ඉතා ඉහලින් තැබීමට සිලෝන් ටී ( Ceylon Tea ) ලෙස  ලෝකය හැඳින ගත් තේ නිශ්පාදනවලට හැකි විය. ශ්‍රී ලංකාවේ තේ නිශ්පාදනයට කුඩා තේවතු හිමියන් දක්වන සහයෝගය ඉතා විශාලය . කෙසේ නමුත් 2015 ට පෙර කාලය තුල මෙම කුඩා තේ නිශ්පාදකයින්ගේ ගැටලු එක තැන පල්වෙමින් පැවතුණි. 

කුඩා තේවතු හිමියන් උදෙසා විප්ලවීය වෙනසක් මේ වනවිට සිදුවෙමින් පවතින බව නොරහසකි. ගරු වැවිලි කර්මාන්ත අමාත්‍ය අධිනීතිඥ නවීන් දිසානායක මහතාගේ ඉදිරි දැක්ම අනුව යමින් සිදුවන මේ ක්‍රියාදාමයේ අපේක්ෂාව කුඩා තේ වතු ආශ්‍රිතව යැපෙන ජනතාව නගාසිටුවීම පමණක්ම නොවේ. කුඩා තේ වතු කර්මාන්තය මගින් රටේ ආර්ථිකයට සැපයෙන විදේශ විනිමය පුළුල් කිරීමද මෙහි ප්‍රධාන අරමුණ වී ඇත. කුඩා තේ වතු සංවර්ධනය කිරීමේ අරමුණින් කුඩා තේ සංවර්ධන අධිකාරිය විසින් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරමින් පවතී. ප්‍රධානම වශයෙන් කුඩා තේ වතු ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ  වැඩසටහන, වැවිලි සවිය නම් වූ කුඩා තේ වතු නැවත වගා කිරීමේ සහනාධාර වැඩසටහන, වැවිලි සවිය ක්‍රීඩා තරඟ වැඩසටහන සහ ආගමික සිද්ධස්ථාන ආශ්‍රිත කුඩා තේ වතු සංවර්ධනයට ආධාර සැපයීම මින් කිහිපයකි. මේ වැඩසටහන් සඳහා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති ගරු විජේරත්න දේවගෙදර මහතා ඇතුළු සියළු කාර්ය මණ්ඩලය දැක්වූ සහයෝගය අසීමිතය. 

මේ සංවර්ධ ක්‍රියාවලියේ සාර්ථකත්වය උදෙසා අපරිමිත කැපකිරීමක් සිදුකල තේවතු හිමියන් , වතු හිමියන්ගේ සමිති සහ අධිකාරියේ සේවකයින් ඇගයීමේ උත්සවයක් ගරු වැවිලි කර්මාන්තය අමාත්‍ය අධිනීතිඥ නවීන් දිසානායක මහතාගේ සහ ගරු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ජුලි 24 , හෙට දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.


Monday, May 13, 2019

Sunday, April 28, 2019

ජනයා රකිනු වෙනුවට ජනයා රවටන්න ජනපතිගෙන් මඩ මෙහෙයුමක් ද ?




ජනපති මෛත්‍රීපාලගේ මාධ්‍ය ඒකකය විසින් මෙහෙයවන වෙබ් පිටු මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මඩ ප්‍රහාර එල්ල කිරීමේ කුමන්ත්‍රණයක නිරත වෙමින් සිටියි . ‍රට මෙතරම් විපතකට පත්ව තිබිය දී මෙවැනි ව්‍යාජ පුවත් මවමින් ජනතාව රැවටීමට ජනපති පදවියක් අවශ්‍ය නොවන බව ඔබට නොවැටහීම ශ්‍රී ලාංකීය ජාතියේ අවාසනාව බව මෙසේ සිහිපත්කරමි .

දේශය ( Deshaya . net ) නමින් පවත්වාගෙන යන මෙම වෙබ් පිටුව නිරන්තරව ජනපති මෛත්‍රීගේ ප්‍රශස්ති ලිපි පලකරන වෙබ් අඩවියකි . එය නිරීෂණය කිරීමේදී එය ජනපති මාධ්‍ය ඒකකය මගින් පවත්වාගෙන යන්නක් දැයි සැක කිරීමේ වරදක් නැතැයි මාගේ හැඟීමයි . එය එසේ වන්නෙ නම් ජනතා බදු මුදල් වලින් නඩත්තුවන මාධ්‍ය ඒකකයේ මෙවැනි ක්‍රියාකාරීත්වයන් පොදුජනයා ලෙස ඉතා පිළිකුලෙන් යුතුව හෙලා දකිනු ඇත .

Saturday, April 6, 2019

පහළොස් වසරකට පසු ඉදිරිපත් කල ප්‍රථම තනි එජාප ආණ්ඩු අය - වැය.


2019 වසරට අදාළ අයවැය  වැඩි ජන්ද 45කින් සම්මත විය. එක්සත් ජාතික පෙරමුණ, දෙමල ජාතික සංධානය, හා ලංකා කම්කරු ක්‍රොන්ග්‍රසය අයවැයට පක්ෂ වෙමින් 119ක පක්ෂතාවයක් ලබා ගත් අතර පොදුජන පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ මෙවර අයවැයට විරුද්ධ විය.
විශේෂ අවධානයකට ලක් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 31ක් දෙනාම අදාල අයවැය බෙදීම් ගණනය වර්ජණය කර තිබිණ. මේ අනුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කල මෙවර අයවැය වසර 16කට පසුව ජයග්‍රහණය කල එජාප අයවැයක් ලෙස සම්මත විය  

Friday, March 29, 2019

ගරු ශ්‍රීමා දිසානායක මැතිනියනි ඔබට නිවන්සුව........ !

ශ්‍රීමා දිසානායක නාමය පැවසූ විටම සිහිවන්නේ දිවන්ගත ගාමිණී දිසානායක මහතාගේ ශක්තිය වෙමින් එතුමාගේ සෙවනැල්ලසේ සිටි එතුමාගේ භාර්යාව ලෙසයි. ඇය එපමණකින් නොනැවතුන දිරිය කාන්තාවකි, ඇය තම සෙනෙහෙබර ස්වාමිපුරුෂයාගේ අකල් වියෝවෙන් අසරණවූ එජාපය බේරා ගැනීමට පෙරට පැමිණි ආකාරය අතීතය දන්න සැමට නොරහසකි. නමුත් ඇය එම වගකීම දැරීමෙන් අනතුරුව ගෞරවනීය ලෙස දේශපාලනයට සමුදුන්නේය. එපමණකින් නොනැවතුන ඇය තම පුත්‍රයන් දෙදෙනා තම පියාගේ මාර්ගයේම යමින් රට වෙනුවෙන් කැපවීමට දිරිය දුන් දිරිය මවක් විය. අකාලයේ පිය සෙනෙහස අහිමිවූ තම පුතුන් දෙදෙනා වන අමාත්‍ය නවීන් දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්‍ත දිසානායක පසුපස සිටි ශක්තියද ඇයම විය. 

අද එතුමිය අප අතරින් සදහටම නික්ම ගොස් ඇත,   එනමුත් ශ්‍රී ලංකාව රටක් ලෙස ඉදිරියට ගෙනයාමට ඇය තැබූ බලාපොරොත්තු ඉටුකිරීමට ශක්තිමත් පුතුන් දෙදෙනෙකු දැයට දායාද කොට ඇත. ඔබ සියල්ල හැරදා නික්ම ගියද මේ මහී තලයේ ඔබ රෝපණය කල බලාපොරොත්තුව දළුලා වැඩෙනු ඇත. 

හිස් අතින් ලෝකයට එන අප සියළුම දෙනා යම් දිනක සියල්ල හැරදා යා යුතුව ඇත. නමුත් ලෝකයට යමක් දායාද කර යා හැක්කේ එතුමිය වැනි ඉතා කිහිප දෙනෙකුට පමණි. 
තම ආදරණීය මෑණියන් නොමැතිව ගෙවීයන ඉතා දිගු අඳුරු රාත්‍රීන් පසු කිරීම එතුමියගේ ආදරණීය දරුවන් හට ඉතා අපහසු කටයුත්තක් බව අප දනිමි. එසේම ගරු නවීන් දිසානායක සහ ගරු මයන්ත දිසානායක ඇතුළු සියළුම ශෝකයට පත් පවුලේ  ඥාතීන් වෙත පෙරමග අපගේ බලවත් ශෝකය මෙසේ ප්‍රකාශකර සිටිමු.

ගරු ශ්‍රීමා දිසානායක මැතිනියනි  ඔබට නිවන්සුව........ !  

Saturday, March 16, 2019

නවීන් දිසානායක ගැලරියේ දේශපාලනය අතික්‍රමණය කරයි .



ගැලරියේ දේශපාලනය කුමක්දැයි යමෙක් ඔබෙන් විමසුවහොත් එය පැහැදිලි කිරීමට බොහෝ උදාහරණ අපගේ මතෘ භූමිය තුලින් සොයා ගැනීම අපහසු කාර්යයක් නොවනු ඇත. පංසල් , පල්ලි තුල දේශපාලන විවේචන ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේ පුටු උඩ නිදාවැටීමේ සිට අධිකරණ වරෙන්තු වලට පිලිතුරු දීමට ගොස් පැමිණෙන අපරාධකරුවන්ගෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේදැයි අසන එම අපරාධකරුවන්ගෙන්ම යැපෙන  මාධ්‍යවේදීන් යොදාගැනීම දක්වා වන පුළුල් පරාසයක ගැලරිය පිනවන දේශපාලන උපක්‍රම මේ  ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ව්‍යාප්තව පැවතීම අප සියල්ලන්ගේම අවාසනාවකි . රටේ රැකියා උත්පාදනය කරනු වෙනුවට රාජ්‍ය ආයතන කඩාවැටෙන තරමට සේවකයන් පුරවා විනාශකල රාජ්‍ය ආයතන ගැන කතාකිරීමට මෙම ලිපිය ප්‍රමාණවත් නොවනු ඇත.

මීට දශක කිහිපයකට පෙර උගතුන් , බුද්ධිමතුන් සහ ප්‍රගතිශීලී ජනතා නියෝජිතයින්ගෙන් පිරීගිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අද තත්වය පසුගිය ව්‍යවස්ථා කුමන්ත්‍රණය සිදුවූ අවස්ථාවේ විද්‍යාමාන විය. ඩී. එස් සේනානායක, බණ්ඩාරනායක, එන්. එම් .පෙරේරා, සර් ජෝන් කොතලාවල, කොල්වින් ආර්. සිල්වා, පිලිප් ගුණවර්ධන, ජේ. ආර්. ජයවර්ධන, කණ්නංගර ශ්‍රීමතාණන් , ලලිත් ඇතුළත්මුදලි සහ ගාමිණී දිසානායක ඇතුළු මහත්මා නායකයින් රැසක් එදා ජනතාව නියෝජනය කලද අද එහි තත්වය ඉතා ශෝකජනකය. කෙසේ වෙතත් වත්මන් කතානායකවරයා වැනි මහත්මා සලකුණු කිහිපයක් දේශපාලනයේ පැවතියද බහුතරය දේශපාලන ගැලරිය පිනවීමට ගොස් මැනිය නොහැකි වැනි විනාශයක් රටට කරමින් සිටිති.

මෙම ලිපිපට පසුබිම් වන ආසන්නතම සිදුවීම වන්නේ පසුගිය අය - වැය විවාදයේදී නවීන් දිසානායක මහතා රටේ වත්මන් ආර්ථික තත්වය සහ ජාතික ණය කලමනාකරණය පිලිබඳ දැක්වූ අදහසයි. එහිදී ඔහු මතුකල ප්‍රධාන කරුණු කිහිපයකි, ශ්‍රී ලංකාව මේවන විට විශාල ණය උගුලක සිරවී ඇති බවත් ඒ ණය මත පදනම්වූ මත්තල වැනි සංවර්ධන ව්‍යාපෘතිය වල අසාර්ථක භාවය එම ණය අර්බුදය වඩා තීව්‍ර කර ඇති බවත්‍ ය. තවද ඔහු පවසා සිටියේ විදේශ වලින් ලබාගත් ණය ගෙවීමට පහසු ආකාරයකට නැවත සැලසුම් කිරීමට නොහැකිවුවත් , දේශීය වශයෙන් ලබාගත් ණය එසේ නැවත සැලසුම් කර ණය බර අඩුකර ගැනීමට උත්සාහ නොකෙරීම ගැන තමා කණගාටු වන බව යි. එසේම කුමණ පිරිසක් රට පාලනය කලද අනාගත දරු පරපුර වෙනුවෙන් එම පිරිස වගකිවයුතු බවත් ඔහු පැවසීය. මෙහිදී රජයේ රැකියා ගැන සඳහන් කරමින් එතුමා ප්‍රකාශ කලේ ජනතාව දේශපාලකයන් දකින්නේ දේශපාලනය කරන ප්‍රතිපත්ති සම්පාදකයන් ලෙස නොව රැකියා ලබාදෙන රැකියා ඒජන්තවරුන් ලෙස බවයි. එසේම රටේ පැවැත්ම උදෙසා රාජ්‍ය සේවයේ විප්ලවීය ප්‍රතිසංස්කරණයක් අවස්‍ය බවයි, ජාතික ප්‍රතිපත්තියක්  සකස්කොට ජනප්‍රිය නොවන මෙවැනි තීරණ ගැනීම රටේ පැවැත්ම තීරණය කරන සාධයක් බවත් මෙහිදී අණාවරණය කෙරුණි. 

විශේෂයෙන්ම ගැලරිය ආමන්ත්‍රණයෙන් ඔබ්බට ගොස් සැබෑ ප්‍රතිපත්ති සම්පාදකයකයෙකුගේ වගකීම වටහා ගත් ජනතා නියෝජිතයින් බිහිවීම රටක සුභ අනාගතයක පෙරනිමිත්තක් බව පොදු පිලිගැනීමයි. 



Saturday, February 9, 2019

මොකක්ද මේ නවීන් දිසානායකගේ ගේම් එක.


විශේෂ ලියුම්කරුවෙකු විසින් අපවෙත ලබාදුන් ලිපියක් ඇසුරින් උපුටා ගන්නා ලදී.


ශ්‍රී ලංකාවේ දේශපාලන පොරපිටිය ගේම් කාරයන්ගෙන් කිසිඳු අඩුවක් නොමැති භූමියක් බව පසුගිය මහින්ද සහ සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය තුලින්  සහ එය දියකර හැරීමට රනිල් ප්‍රමුඛ එජාපය ගත් විප්ලවීය ක්‍රියාමාර්ගය තුලින් මනාව පැහැදිලි වන කරුණකි. නමුත් දේශපාලන ගේම් අප රටට ආගන්තුක ඒවා නොවන බව සිහියේ තබාගත යුතුය.   අප රටේ දේශපාලන ගේම් ඉතිහාසය විජය, කුවේණියගේ යුගය පමණක් නොව රාවණාගේ යුගයද සිහිපත කරන්නේ නිරායාසයෙනි. 

රටේ වර්තමාන දේශපාලන සමාජ තත්වයන්ගේ සංකීර්ණ තාවය සැලකීමේදී සාම්ප්‍රදායික දේශපාලනය වෙනුවට මේ දේශපාලන ගේම් වල සාර්ථකත්වය දේශපාලන පොරපිටියේ යම් පුද්ගලයෙකුගේ හෝ කිසියම් කණ්ඩායමක පැවත්ම තහවුරු කරයි. පසුගිය දේශපාලන ගේම් එක නොහොත් ව්‍යවස්ථා කුමණ්ත්‍රණය ජයගත් අගමැති රනිල් වික්‍රමසිංහ සමග එම ජයග්‍රහණය උදෙසා කැපවූ නායකත්වයන් අතර නවීන් දිසානායක යන චරිතය පුමුඛ ස්ථනක් ගනී. එසේම නවීන් දිසානායක නැවතත් ගේම් එකක් ගැන කතිකාවතක් මේ ගිණියම් දේශපාලන පොරපිටිය තුල මතුකිරීමම එජාපය ප්‍රමුඛ කණ්ඩායමේ යම් නව දේශපාලන පෙරලියකට සූදානම් වීමක් බවට කතාබහක් ඇතිවෙමින් පැවතීම සාධාරණ බව මාගේ හැඟීමයි. දැනට එජාපයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මීට දින කිහිපයකට පෙර පුවත්පතකට ලබාදී තිබූ සාකච්ඡාවකින් පවසා තිබුනේ දේශපාලන ගේම් එකකට තමා සූදානම් බවත් පක්ෂය හැරගිය පිරිස් සහ වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහයෝගයත් රජයට ලබාගෙන නව ක්‍රියාවලියකට අවතීර්ණ වන බවය. ජනපති සිරිසේන රනිල් ප්‍රමුඛ එජාපය පෙරලීමට  දේශපාලන පෙරලියක් කිරීමට ගොස් ඒ.එච්.එම්. ෆවුසි වැනි ජේෂ්ඨයන්ගේ සහයෝගය නොමිලේම එජාපයට ලබා දුන් ආකාරය ඔබ සැමට අමතක නැතැයි මම සිතමි. මේ දේශපාලන පොරපිටියේ නවීන් දිසානායක වැනි චරිතයකට  ඉහල දේශපාලන පිලිගැනීමක් හිමිවීම නොවැලැක්විය හැක. එජාපයේ ප්‍රභල නායකයෙක් වූ කඩිනම් මහවැලියේ නිර්මාතෘ ගාමිණී දිසානායක මහතාගේ පුත්‍රයා වීමත් වත්මන් කතානායක කරු ජයසූරිය මහතාගේ බෑනනුවන් වීම සේම ඔහු ලබා ඇති ඉහල අධ්‍යාපනයද ඔහුට මේ දේශපාලනයේ වැදගත් ස්ථානයක් නිතතින්ම හිමිකර ඇත. 

ඉදිරි කාලය මේ දේශපාලන පොරපිටියේ කෙලි සෙල්ලම්   එලිපිට ප්‍රදර්ශනය වන කාලයක් බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. එම දේශපාලන කෙලි සෙල්ලම් කෙසේ වේදැයි ඉදිරි ලිපියකින් සාකච්ඡාකිරීමේ බලාපොරොත්තුවෙන් මෙම සටහන මෙසේ නිමා කරමි.

Wednesday, January 30, 2019

ග්‍රාම සේවකට පිස්සු.





ශ්‍රී ලංකා දේශපාලනයේ බිහිහූ අශීලාචාරම පාවාදෙන්නා කවුදැයි විමසීමේදී ඒ අන් කවරෙකුත් නොව වත්මන් ජනපති සිරිසේන බව ඉතිහාසය සාක්ෂි දරණු ඇත. එසේම තමාගේ තත්වය ගැන සෑම විටම දරුණු හීනමානයකින් පෙලෙන මොහු එය ක්‍රියාවට නැංවීමට කිසිවිටකත් පසුබට නොවන බව ලෝකයට පසක්කලේ රනිල් වික්‍රමසිංහ සමග ඇතිවූ පෞද්ගලික ආරවුල බේරාගැනීමට රටේ ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීම තුලිනි. මේ ජනපති සිරිසේන තම හීනමානය පෙන්වූ ආසන්නතම සිදුවීම ඉතා හාස්‍යජනකය. මේ කතාව සබැඳෙන්නේ කෝපි කඩේ නම් කාලයක් ඉතා ජනප්‍රියව පැවති ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශනය වන ටෙලිනාට්‍ය වටාය. මෙම ටෙලිනාට්‍යයේ පසුගිය දිනක විකාශනය වීමට නියමිතව තිබී ඇත්තේ ග්‍රාමසේවකට පිස්සු නමින් නම් කල ටෙලිනාට්‍යකි. එමගින් කඩුවක් අතින්ගත් ගමේ ග්‍රාමසේවක ගම පුරා පිස්සු නටමින් ජනතාව කැලඹීමට පත්කරන අයුරු ප්‍රදර්ශනය කලේයැයි පැවසේ. කෙසේ වෙතත මෙම සිදුවීම ආරංචි වූ සැනෙන් ජනපති සිරිසේන එම කතාංගය විකාශනය වීම වැලැක්වීමට ක්‍රියාකර ඇත. පොලොන්නරුවේදී ග්‍රාමසේවක රැකියාව වත් හරිහැටි කරගැනීමට නොහැකිව එය අතහැර බණ්ඩාරනායකලාගේ වලව්වේ කඩන ගස් ගෙඩි ගනංකිරීම රැකියාව කරගත් ඔහුට මෙමගින් තම වත්මන් කල්ක්‍රියාව සිහිපත් වුනාදැයි අප නොදනී. කෙසේ නමුත් එතුමා මීට මාස කිහිපයකට පෙර හැසිරුනේ කඩුවක් ගත් ග්‍රාමසේවක ලෙස නොව නගුලක බැඳි මී ගවයෙකුටත් වඩා නොහොබිනා ලෙස බව කාරුණිකව සිහිපත් කරමි. 

ජනපති සිරිසේනගේ හීනමානය මනාව පෙන්නුම්කරන නවතම නාටකය වන්නේ රාජ්‍ය ආයතනවල සභාපති වරුන්ගේ පත්වීම් ප්‍රතික්ෂේප කිරීමයි. තම සහෝදරයා ටෙලිකොම් ආයතනය උලාකමින් සිටින බව සිරිසේනට හෝ ඔහුගේ   උපදේශකයින්ට නොපෙනීම ජාතියේම අභාග්‍යයකි. අමාත්‍ය නවීන් දිසානායක මහතා පත්කිරීමට යෝජනා කල සභාපතිවරු ප්‍රතික්ෂේප කිරීම ජනාධිපති වරයාගේ දියනිය වන කුප්‍රකට ව්‍යාපාරික චතුරිකා සිරිසේනගේ මඩ මාධ්‍ය බලකාය විසින් ඉතා උත්කර්ෂවත් ලෙස වාර්තා කර තිබුණි. නමුත් ඇයට තම බාප්පා විසින් උලාකන ටෙලිකොම් ආයතනය නොපෙනුනේ මන්දයි ප්‍රශ්නකිරීමේ වරදක් ඇතැයි මම නොසිතමි. එපමණක් පමණක් නොව සංචාරක අමාත්‍යාංශයට අදාලව පත්කල සභාපතිවරුන්ද ඔහුගේ මෙම කප්පාදු ලේඛනයට ඇතුලත්ව ඇත. ඒ අතර ශ්‍රී ලංකාවේ මෙන්ම  ලෝකයේම ප්‍රසිද්ධ වෘතීය වෙදියෙකුවන ක්‍රිශු ගෝමස් මහතාගේ නමද ඇතුලත්ව තිබීම මෙම හීනමානයේ තරම මනාව කියාපායි. 
මොහුගේ මෙම පලිගැනීම් වලට ලක්ව

ඇත්තේ පසුගිය ව්‍යවස්ථා කුමන්ත්‍රණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂාකල මංගල සමරවීර, නවීන් දිසානායක වැනි අමාත්‍යවරුන්ගෙන් පමණක් වීම විශේෂත්වයකි.

ජනපතිතුමාට මේ මොහොතේ කලහැකිව ඇති එකම දෙය නම් තවදුරටත් රට විනාශ නොකර, මීට කාලයකට ඉහත විමල් වීරවංශ පැවසූ පරිදි ජනපති ධූරයෙන් ඉල්ලා අස්වී කැමති තැනකට තොලොංචි වෙලා යෑම පමණි. 


Wednesday, January 23, 2019

අබුද්දස්ස යුගයක කරලියට ආ ප්‍රබුද්ධ මිනිසා.



අබුද්දස්ස කාලය ලෙස අප හඳුන්වන්නේ ඉතා අයහපත් ලෝක ධර්මයට අනුකූල නොවූ සිදුවීම් සිදුවන කාලයකි. එවැනි ඉතා නිර්ලජ්ජිත දේශපාලනික ක්‍රියාකාරකම් සිදුවූ කාලයක් අප රටද ගිය වසරේ අගභාගයේදී පසුකල බව කිසිවකුට අමතක නැත. ජනාධිපතිවරයා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් අගමැති කෙනෙකු පත් කිරීමේ සිට ජනවරමට පිටුපා සිදුවූ පක්ෂ මාරු කිරීම් සහ මාධ්‍ය මගින් අසත්‍ය ප්‍රචාර පතුරවමින් ජනතාගේ සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතිය අහිමි කිරීම සහ විරුද්ධ පාක්ෂිකයන්ට සහ ඔවුන්ගේ දේපල වලට ප්‍රහාර එල්ල කිරීම දක්වා ඉතා මජර දේශපාලන තත්වයකට රට ඇද දැමීමට එම දේශපාලන කුමන්ත්‍රණයට හැකි විය.  ඉන් රටේ සමස්ථ ආර්ථිකයට වූ හානි පිලිබඳ කතා කිරීම පසුවට කල් තබන්නේ එය ඉතා දීර්ඝ කතාබහකින් කෙලවර වන නිසාවෙනි.

මෙම දේශපාලන සුනාමියෙන් මෛත්‍රීපාල සිරිසේන ගුණමකුවෙකු බවත්, මහින්ද රාජපක්ෂ බල ලෝභයෙන් මත්වූ මෝඩයෙකු බවත්, රනිල් වික්‍රමසිංහ නිහඬ දේශපාලන ගේම් කාරයෙකු බවත්, කරු ජයසූරිය ව්‍යවස්ථාවේ සහ ජනතා පරමාධිපත්‍යයේ ආරක්ෂකයා වූ බවත්, වසන්ත සේනානායකලා වැනි දේශපාලනයේ නොමේරූ ළදරුවන් පාර්ලිමේන්තුවේ සිටින බවත් සහ එජාප පාක්ෂිකයාගේ තම පක්ෂය වෙනුවෙන් දිවිහිමියෙන් කැපවන්නෙකු බවත් මනාව පිලිබිඹු කලේය.

අද අපගේ මේ සටහන වෙන්වන්නේ ව්‍යවස්ථාවේ සහ ජනතා පරමාධිපත්‍යයේ ආරක්ෂකයා වූ වත්මන් කතානායක කරු ජයසූරිය මහතා වෙනුවෙනි. දේශබන්දු කරු ජයසූරිය මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කීර්තිමත් වෘතීය වේදියෙකු සහ ව්‍යාපාරිකයෙක් වෙයි. ඊට අමතරව එතුමා ශ්‍රී ලංකා යුධ හමුදාවේ ස්වේච්ඡා බලකායේ ලුතිනන්වරයකු ලෙසද කලක් සේවය කර ඇත. එතුමා යුද හමුදාව ඇසුරින් ලද විනය, හික්මීම සහ දරාගැනීමේ හැකියාව එතුමා පසුගිය කාලය තුල පාර්ලිමේන්තුව තුල මැනවින් පිලිබිඹු කලේය.

කොළඹ නගරසභාවේ නගරාධිපතිවරයා ලෙස ඔහු අරඹන දේශපාලන ගමන මන්ත්‍රීධූර, අමාත්‍යධූර පසුකර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකධූරය දක්වා වැටී ඇත්තේ නොකිලිටි මාවතක් තරණය කිරීම තුලින් බව සියළුම දෙනාගේ පොදු මතයයි.

කතානායක කරු ජයසූරිය මහතා ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ තම නාමය රනින් සටහන් කරගැනීමට එතුමා පසුගිය ව්‍යවස්ථා කුමන්ත්‍රණයට මුහුණදුන් ආකාරය ඉවහල් විය. ලෝකයේ මෙවැනි කුමන්ත්‍රණ ජනාතාවගේ රුහිරු සහ මලකඳන් මතින් අවසන් වෙද්දී මෙරටේ එම කුමන්ත්‍රණය නීත්‍යානුකූලව   ඉතා සාමකාමීව විසඳාගැන්මට එතුමා ගත් පරිණත තීරණ ඉවහල්වූ බව නොරහසකි. මහින්ද රාජපක්ෂගේ සහ ඔහුගේ මෝඩ පුත්‍රයා වන නාමල්ගේ මෙහෙයවීම මත කතානායකවරයා ඉලක්ක කොට සංවිධානාතමක ප්‍රහාර කිහිපයක් පාර්ලිමේන්තුව තුලදීම එල්ලවිය. කසල බඳුන් වලින්, පොත්පත්වලින් සහ ජල බෝතල් ප්‍රහාරවලද කතානායකවරයා ඉලක්කයක් විය. ඉන් නොනැවතුන විපක්ෂයේ කුප්‍රකට මන්ත්‍රීවරුන් තවත් දිනකදී එතුමාට මිරිස් කුඩු වලින් සහ පුටු වලින්ද දමාගැසීමට තරම් අශීලාචාර විය. නමුත් ඒ සියල්ල උපේක්ෂාවෙන් දරාගත් එතුමා මෙම කුමන්ත්‍රණය ඉතා නීත්‍යානුකූලව රටට වන හානිය අවම කරමින් පරාජය කිරීමට තමන්ට හැකි සියළුදේ කල බව රටටම පසක් විය. මෙම අවස්ථාවේ කතානායකවරයාගේ ක්‍රියාකලාපය මීට වෙනස් වූයේ නම් මේ රට ලේ විලක් වනබව නොඅනුමානය. ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කිරීමට හේතුවූ මූලික කරුණු කිහිපයකි. අධිකරණයේ ස්වාධීනත්වය , එජාප පාක්ෂිකයාගේ අසීමිත කැපවීම, සුළු පක්ෂ සියල්ල ප්‍රරගතිශීලී පියවරක් අනුගමනය කිරීම, ජාත්‍යන්තර ප්‍රජාවේ බලපෑම සහ කතානායකවරයාගේ පැහැදිලි ස්ථාවරයයි.

කරු ජයසූරිය යනු ශ්‍රී ලාංකික මහත්මා දේශපාලනයේ වර්තමාන ප්‍රතිමූර්තිය ලෙස නම් කිරීමේ කිසිඳු වරදක් නැතැයි යන මාගේ අදහසට  ඔබ සියළුදෙනා ඒකමතිකව එකඟවනබව මම දනිමි. වත්මන් පාර්ලිමේන්තුවේ සිටින ජේෂ්ඨම මන්ත්‍රීවරුන් කිහිපදෙනා අතරින් කෙනෙකු වන කරු ජයසූරිය මහතා ඉතා පරිණත විශිෂ්ඨයෙකු බව පසුගිය පෙල සිදුවීම් සාක්ෂි දරයි. බොහෝ අවස්ථාවලදී ජාතික ඇඳුමෙන් සැරසී, කමිසයේ ජාතික කොඩියේ ලාංඡනයක් පළඳින මේ මිනිසා ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත්, පාර්ලිමේන්තුවේ ගෞරවයත් මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ගෞරවයත් සුරැකි මිනිසා ලෙස ඉතිහාසගතවනු ඇත. එසේම ජනතාව ඔහු යුක්තියේ මිනිසා ලෙස හැඳින්වීම ඉතා සාධාරණ බව මාගේ හැඟීමයි. 


Monday, January 7, 2019

කොඩි වනන ජනතාව සහ පීල්ලට බෙල්ල තැබූ රාජපක්ෂ.




2019 ජනවාරි 6 එනම් ඊයේ දිනයේ මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාරගයේ පලමු වරට පරීක්ෂණ මගී දුම්රියක් ධාවනය කෙරුණි. එයට ප්‍රවාහන ඇමති අර්ජුන රණතුංගද සහභාගී විය. නමුත් එහි දකුණේ සාම්ප්‍රදායික සමාරම්භක අවස්ථාවක සිරියක් ගත්තේ නැත. එහි දේශපාලකයන්ගේ අහස උසට නැගුනු කටව්ට්, දේශපාලන හෙන්චයියන්ගේ සුභ පැතුම් පනිවිඩ, පාරවල් වසා පැතිරුණ කොඩිවැල්, ලංගම බස් යොදා රට වටෙන් ගෙන්වූ බේබද්දන්, ගිණි අව්වේ සිටවූ පාසල් සිසුන් සහ සාමණේර හිමිවරුන් කිසිවක් මෙහි දක්නට නොවීය. එය මෙතරම් අවුල් වියවුල් මැදින් දිවයන යහපාලන රජය පත්වීම පිලිබඳ අපට සතුටු විය හැකි කරුණකි. 
කෙසේ වෙතත් දුම්රිය මාතරින් පිටත්ව මඳ දුරක් ගතවෙත්ම රාජපක්ෂලාගේ කුපාඩි දේශපාලනයේ මළමිනී දුම්රිය මග දෙපස දැකගත හැකි විය. කවුරුන් හෝ බලෙන් ගෙනැවිත්දුන් 2015 ජනවාරි 8 බලයෙන් පහකල මහින්ද රාජපක්ෂගේ රුව සහිත පුවරු ප්‍රදර්ශනය කමින්, කෑකෝ ගසමින් සිටින අහිංසක දුප්පත් ජනතාව පෙන්නුම් කලේ වහල් භාවය අවසන් කිරීමට අපට තව විශාල දුරක් ගමන් කිරීමට ඇති බවයි. එසේම බෙලිඅත්ත දුම්රිය පොළ තුලදී දුම්රියේ අයිතිය තාමාට ලියා ගැනීමට මහින්ද රාජපක්ෂනම් ගුණම්කුවා විසින් තමාගේම හෙන්චයියන් ලවා සංවිධානයකල විරෝධතාවක් දියත් කලේය. මහින්ද රාජපක්ෂලාගේ කටු කන කීකරු සුනඛයෙකු වන බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ නැමැති කුප්‍රකට පුද්ගලයා මෙහි පෙරමුණ ගැනීමම මෙය ජනතාවගේ අවශ්‍යතාවක් නොව රාජපක්ෂලාගේ පිල්ලිය්ක් බව මනාව පැහැදිලි කරයි. 

ශ්‍රී ලංකාව තුල ඉතා අධික පොලී ණය වලින් තොරව සිදුකල සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් පවතී. ගොවි ජනපද ව්‍යාපාරය  කොළඹ වරාය, බණ්ඩාරනායක ගුවන්තොටුපළ සහ සම්මන්ත්‍රණ ශාලාව, කඩිනම් මහවැලිය, ගම් උදාව නිවාස ව්‍යාපෘතිය, ශ්‍රී ජයවර්ධනපුර නව රෝහල, රුහුණු විශ්ව විද්‍යාලය, තරුණ සේවා සභාව සහ වෘතීය අධ්‍යාපනය ඊට හොඳම උදාහරණ සපයයි. 

කිසිම දිනක තම මවගේ පාලන සමයේදී චීනයෙන් මෙරටට ලද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ නම ගසා ගැනීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය උත්සාහ කලේ නැත. එසේම ශ්‍රී ලංකා නිශ්පාදන ආර්ථිකයේ හදවත වන මහවැලියේ නම ගසා ගැනීමට එහි නිර්මාතෘ වන ගාමිණී දිසානායක මහතා උත්සාහ කලේද නැත. එසේම වත්මන් පාර්ලිමේන්තුවේ අමාත්‍ය  නවීන් දිසානායක හෝ මන්ත්‍රී මයන්ත දිසානායකලා කිසි දිනක මහවැලියේ තම නම ගැසීමට ගියේද නැත. 

මේවා තවමත් දේශපාලනිකව ළදරුවකු වන නාමල් රාජපක්ෂට සහ දේශපාලනයේ අවලංගු කාසියක් වන මහින්ද රාජපක්ෂටද සිතීමට යමක් ඉතිරි කරන පාඩම්‍ බව මතක තබා ගත යුතුය.

එසේම සියළුම දෙනාට සිහිපත් කල යුතු කරුණක් ඇත එනම් සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රතිලාභ ලැබිය යුත්තේ දේශපාලකයන්ට නොව රටේ සියළුම පුරවැසියන්ට බවය. එම අයිතිය ඔබෙන් උදුරා ගැනීමට කිසිවෙකුටත් ඉඩදිය යුතු නැති බව සිහිපත් කරමින් ලිපිය නිමා කරමි.
ඔබ සැමට සුභ නව වසරක් වේවා.......!